3.0

" සොරි අයියෙ.."

නුගේගොඩ ස්ටේශන් එකෙන් බැහැලා සනුකයයි මතීශයයි එක්ක 138ක එල්ලිලා දෙල්කදට යන්න හැරෙද්දිම අපිට අහුවුනේ රධ්‍ය අයියයි කියාන් අයියයි.. ක්ලාස් යන එකත් පැත්තකින් තියලා ඉස්ස ඉස්සෙල්ලාම කියාන් අයියගෙන් කන පුරෝගෙන අහගන්න වුනු නිසා සනුකයයි මමයි මතීශයයි හිටියේ හොර බලල්ලු රෑනක් වගේ බිම බලාගෙන.. කොටින්ම කිව්වොත් කියාන් අයියා බනින බැනිල්ල අහගෙන ඉන්න පුලුවන් රධ්‍ය අයියගෙ රැවිල්ල දැක්කහම මට චූ බරකුත් හීනියට සෙට් වුනා..

" සොරි සොරි නෙමේ අයිසෙ උබ අතනින් වැටුනනන් එහෙම උබ හිතනවද ඉතුරු වෙයි කියලා.. අනිත් දවසෙ බස් එකේ පලයන්.. ඔක්කොටම කලින් ජීවත් වෙලා ඉන්න එපැයි.. "

" හරි අයියෙ.."

මතීශයා බය වෙලා නහුතෙටම, හිමීට කෙදිරි ගෑවා.. මටනම් එකට එක කියාගෙන යන්න කටට වචන හෝ ගාලා ගලාගෙන එනවා.. මොකක් වුනත් උන් කියන එකෙත් ලාවට ඇත්තකුත් තියන නිසා මම බෑග් එකේ පටිය කරකෝ කරකෝ පාරෙ තිබ්බ ට්‍රැෆික් ලයිට් එකක් දිහා බලාගෙන උන්නා..

" දැන් පලයන්.. පරක්කු වෙනවා කිව්වනෙ.."

කියාන් අයියා පලයන් කිව්වා විතරයි අපි තුන් හතරදෙනා පිඹගෙන බස් එක දිහාට දුවන්න ගත්තා.. 138 බස් එකට දුවලා යන්න තරම් පුපේ අමාරුවක් අපිට නොතිබ්බත් අර යක්කු දෙන්නගෙ මූනවල් බලන් ඉන්නම බැරි නිසා අපි දුවගෙන ගිහින් එල්ලුනා..

උදේට අම්මා ගෙදරින් එව්ව බත් එක පලවෙනි පීරියඩ් එකේම දෙසලා ඇරියා විතරයි දවසටම මොකුත් නෑ.. ඒ මදිවට මට මේ ටිකේ දරුනුවටම ගැස්ට්‍රයිටිස් හැදිලා ඉන්න නිසා බඩයි පපුවයි දනවා හොදටම.. සෙනුකයට කියන්නත් හිතිලා මම කාගෙනම ඩයජින් පෙත්තක් හපලා කාලා පෙනඩෝල් දෙකකුත් ශේප් එකේ බිව්වා.. ඉන්ටවල් එකෙත් කන්න හම්බුනේ නෑනෙ.. දැන් තුනට ක්ලාස් පටන්ගත්තාම ඉවරවෙන්නෙ අටට.. ලේසි නෑ කෙමෙස්ට්‍රි චාලක රසායනය මට මෙලෝ ලබ්බක් ඔලුවට යන්නෙත් නෑ ඔලුවෙ කැක්කුම නිසා.. 

ඔහොම ක්ලාස් එකටත් ගිහින් පලවෙනි පැය දෙකහාමාරෙන් පස්සෙ පොඩි ඉන්ටවල් එකක් දුන්නා.. ලෑල්ලට පස්ස තැලිලා දැන් නම් පස්සෙ තියන ඇටකටු හමත් ඉරාගෙන එලියට පැනලා වගේ දැනෙන්නෙ.. මැද්දෙ පෝලිමකට වෙලා හිටිය අපි සර් ස්ටේජ් එකෙන් බැහැලා යනවත් එක්කම නැගිටලා පහල කැන්ටිම පැත්තට ගියා.. ගියත් වැඩක් නෑ පුතෙ මගෙ අතේ සන්තකේටම තිබ්බෙ බස් එකේ යන්න සල්ලි විතරයි.. ඒවුනාට ටොයිලට් එකට යන්න එපැයි..

මමයි හශානුයි ටොයිලට් එකට ගිහින් ඒ බරත් නිදහස් කරගෙන එල්ලියට ආවේ ශර්ට් එකත් යට කර කර.. එතකොටම අපි ඉස්සරහට ආවේ මහීශා..

මහීශා ගැන කියනවනම් ඒකි ඉතින් කෙල්ලෙක්.. කොල්ලොන්ට එහෙම නම් නෑනෙ.. ඒවුනාට මෙතන තියන බයානකම කාරනාව තමයි මූ කෙල්ලෙක් වගේ නෙමේ.. තනිකර කොල්ලෙක්ම වගේ.. මට මහීශා සෙට් වුනේ කොළඹට ඇවිත් ටියුශන් යන්න ගත්තට පස්සෙ.. අපි එක ටියුශන් එකට ගියේ.. ඊටත් එහා ඩයල් එක අපේ ගෙවල් ලග , අපෙ අම්මලා දෙන්නත් හෙනම ෆිට්.. ඔහොම තමයි අපේ යාලුකම පටන් ගත්තෙ.. මොකක් වුනත් ඒකි හෙන හිත හොද එකා.. මම කෙල්ලෙක්ට කියලා ආශ්‍රය කරන කෙල්ලොන්ගෙන්, වැඩිපුර ළඟ ඒකි විතරයි.. තව එකියක් ඉන්නවා කැරොල් කරත්තයක් වගේ- කොහොමහරි ක්ලාස් ඉවරවෙලා ඒකියි මමයි ගෙදර යන්නෙ එකට.. සෙනුකයා යන්නෙ කැරොල් කරත්තෙ එක්ක.. අපි හුගක්ම බස් එකේ යනවා අඩුයි.. මහීශාගෙ අම්මා එනවා වෙහිකල් එකෙන් ඒකිව පික් කරන්න.. ඉතින් මටත් ඉබේම ට්‍රාන්ස්පෝට් සෙට් වෙනවා ගෙදරටම.. 

" මොකද බල්ලො පරක්කු උනේ එන්න.."

මම කිව්වෙ.. මේකි මට කොටින්ම කතාකරන්නෙත් බල්ලා කියලා.. 

" ආපු හුචක්කුව හුටු හුටු ගගා එද්දි කොහෙ වෙලාවට එන්නද බං.. "

" ඒකත් ඇත්ත නේ.. මේ උබ කාලද..??"

මහීශා ඇහුවේ නිල්පාට ලන්ච් බොක්ස් එකක් අතේ තියාගෙන..

" මේ මම-"

" උබ කෑවනම් කමක් නෑ මේකත් කාපන්.. අපෙ අම්මා පෑන්කේක් වගයක් දුන්නා උබටත් දෙන්න කියලා.."

මහීශා ලන්ච් බොක්ස් එක බලෙන්ම මගේ ඇගේ ගහලා අමුතු කොලු ගමනකින් පඩිපෙල නැගගෙන උඩට දිව්වා.. මේකි මොකද අද දුවන්නෙ.. මොකක් හරි හොරයක් තමා.. කොල්ලෙක්වත් ඉන්නවද?? නෑනෙ මේකිට කොහෙ කොල්ලොද..?? කෙල්ලෙක්වත් සෙට් වෙන්න යනවද දන්නෙ නෑ.. අහලා බලන්නෝන..

මම ඉතින් දෙයියෝ දුන්නා වගේ ලැබුනු පෑන්කේක් ටික අරුන් තුන්දෙනාටත් දීලා කාලා ටැප් එකෙන් වතුරත් බීලා උඩට ගියා.. පැය බාගෙ ඉවරයි.. ආයෙම සර්ගෙ අහවල් රසායනේ තමා..

ඔහොම ඉතින් ක්ලාස් එකේ සර්ගෙ හිනායන්නෙ නැති විහිලුයි වදනුයි අරවයි මේවයි අස්සෙ පහමාරට ඉවරකරන්නම් කිව්ව ක්ලාස් එක දෙයියන්ගෙ පිහිටෙන් පහයි හතලිස් පහට ඉවර කලා.. ඒකත් සර්ට චිට් කෝටියක් විතර ලමයි යවපු නිසා..

අපි පහලට යද්දි මහීශා ඉන්නවා බෑග් එකත් කරේ එල්ලගෙන කණුවකට මුවා වෙලා.. මම දැක්කා විතරයි මාවත් ඇදගෙන පාකින් එකට දිව්වා.. අද ආන්ටි ඇවිත් වගේ.. ඇතියාන්තම්.. ඒවුනාට ඇයි මේකි දුවන්නෙ.. මට ඒකනම් සෑහෙන්න ප්‍රශ්නයක්.. අහන්නත් බෑ ආන්ටි ඉන්නවනේ.. මැසේජ් එකක්වත් දාන්නෝන ගෙදර ගියහම..

" සුදුමහත්තයා.. "

සැක් අපේ අම්මා.. අම්මා ඔහෝමමයි.. දෙනෝදාහක් මැද්දෙ වුනත් මට කෑගහලා කතාකරන්නෙ සුදුමහත්තයා කියලා.. මම ඒ කටින් මගෙ නම කියවෙනවා ඇත්තටම අහලා නැති තරම්.. අම්මා සුදුමහත්තයා ගාගෙන කාර් එක ලගට එද්දි මහීශා නෝන්ඩියට බැලුවේ මගේ දිහා.. මේකි දවසක් ඕක ක්ලාස් එකකත් කියලා මාව නෝන්ඩි කලා.. මම ඉතින් ආන්ටිටත් ගොං හිනාවක් දාලා කාර් එකෙන් බැහැලා අම්මා ගාවට ගියහම අම්මා මගෙන් බෑග් එක ගත්තා.. ඊටපස්සෙ ආන්ටිත් එක්කත් කතාකලා අපි ගෙදරට ආවා..

අපේ අම්මා හෙන අමුතු චරිතයක්.. බදාගන්නෙ ඉඹින්නෙ එව්වා මෙව්වා කරන්නෙ නෑ.. හෙන නීති එක්ක ඉන්න නපුරු චරිතයක්.. මාත් එක්ක වලි වුනාට ඉතින් මට ආදරෙයි.. අවුල තියෙන්නෙ වයසෙ වැරැද්දද කොහෙද මමත් පොඩ්ඩක් අම්මා එක්ක කටගහන් යනවනෙ.. දවසෙ තනියෙම ගෙදරට වෙලා ඉන්න නිසා අම්මා ඉන්නෙ හෙන පාලුවෙන්.. මම ගෙදර ආවහම ඉතින් පස්සෙන් එලව එලව දවසෙ වෙච්ච දේවල් කියවනවා.. මම ගෙදර ඉන්න දවස්වල එහෙම අම්මා උයද්දි බැම්මට වෙලා තාත්තගෙ පැත්තෙ උදවියට බනින්න හෙන ආසයි..

" මහන්සී අම්මා.. ඔලුව කකියනවා පැලෙන්න වගෙ.."

මම කිව්වෙ කාමරේට ගිහින් දොර අඩවල් කරගෙන ශර්ට් එකයි බැනියමයි ගලවන ගමන්.. 

" රිදෙන්නැතුව තියෙයිද ඉතින්.. ඔහොම නොකා නොබී නිදි මරාගෙන මහන්සි වෙද්දි.. නාගෙන එනවා මම බත් බෙදන්න.. "

" හා.."

මම ටවල් එකත් අරන් අම්මා ඉන්නවද නැද්ද කියලා වටපිට බලලා සුටුස් ගාලා නානකාමරේට විද්දා..

අපේ ගෙදර තනි තටුවෙ පොඩි ගෙයක්.. වත්ත එහෙම ටිකක් ලොකුවට තිබ්බා.. කාමර දෙකකුයි සාලෙයි කුස්සියයි නානකාමරෙයි ඉස්තොප්පුවයි.. ඔච්චර තමා.

අපෙ අම්මා ඇහැට කනට පේන්න ඉන්න නිසා ගමේ ගෑනු අම්මා එක්ක හෙන තරහයි.. ගෑනුනෙ ඉතින්.. මමත් දැන් ලොකු නිසා අම්මත් මිනිහා නැතුව තනියම ගෙදර ඉන්න නිසා අම්මටයි මටයි ගමේ එක එක කතා හැදිලා තිබුනා.. මම ඕවා හිතට ගන්නැතුව උන්නට ඕවා කියවන ගෑනු දැක්ක ගමන් මන්නෙන් කොටන්න තරම් කේන්තියි.. මේ සමාජෙ ඉන්නෙම මහ කුහක කාලකන්නි.. අම්මෙකුටයි පුතෙකුටයිවත් ඉන්න දෙන්නෙ නෑ.. ඒකටත් බලු කතාවක් හදනවා.. අද උදෙත් මම බස් හෝල්ට් එකේ ඉද්දි කමනි ඇන්ටි මොකක්දෝ බලු කතාවක් ඒ ගෑනුගෙ දුවත් එක්ක කියලා හිනාවෙනවා මම අහගෙන හිටියා.. මට ඕවට රණ්ඩුවෙන්න යනන්ත් බෑ මොකද මම දවසින් වැඩි හරිය ගෙදර නෑ.. අම්මා විතරයි ගෙදර තනිපංගලමේ.. මොකෙක් හරි අනතුරක් කලත් තරහට, කියන්න බල්ලෙක්වත් නෑ.. හිටියත් මහීශගෙ අම්මා විතරයි ඒත් ආන්ටිලත් ටිකක් එහාට වෙන්නනෙ ඉන්නෙ.. 

" සුදුමහත්තයා.. ගෙදර ඉන්න දවසක පීල්ල සුද්ද කල්ලා දාන්නකො.. මේ උඩ රොඩු හිරවෙලා වැස්සොත් එහෙම.."

මම බත් පිගාන අතට අරන් ඉස්තෝප්පුවෙන් ඉදගද්දි අම්මා බැම්මට හේත්තු උනා..

" හා අම්මා.. මම අනිද්දා විතර සුද්ද කරන්නම්.. මේ ඒකනෙමේ.."

" ඕ.."

" අපේ ඉස්කෝලෙ නිවාස තරග පටන්ගෙන අම්මෙ.. මට බැඩ්මින්ටන් ප්‍රැක්ටිස් යන්න වෙයි මේ ටිකේ.."

" ඇයි ලමයො මේ තියන වැඩ අස්සෙ ඕවත් පටලගෙන.."

" මාසයයිනෙ අම්මෙ.. මොකෝ ආයෙ ඉස්කෝලෙ යනව කියලයැ.. "

" හ්ම්.. සෙනුක පුතත් ඉන්නව නේද.."

" ඔව් අම්මෙ.. පුලුවන් නම් හෙට මගෙ කිට් එක හොයලා මැදලා තියන්නකො.."

" ම්ම්.. මේ සුදුමහත්තයට අර පල්ලෙහා ගෙදර කමනි පාරෙදි මොනවහරි කීවද..?"

" නෑ අම්මෙ.. මම යද්දිම බස් එක ආවෙ.. මම ඔය ගෑනු බලන්න ගියෙ නෑ.."

" ඒක මිසක්.."

අම්මා සැනසීමෙන් හුස්මක් පහල දානවා මම බලාගෙන.. අනිවාරෙන් ඔය ගෑනි මොනවහරි කියන්න ඇති..

" අම්මෙ.. ඔය එක එක ගෑනුන්ට පේන්න එලියට බහින්න එපා.. මොනවහරි ගෙදර අඩුපාඩුවක්නම් මම කියලා තියනවනෙ.. ලිස්ට් එකක් ලියලා තියන්ඩ.. මම අරන් එන්නම්.. ඕක මහ ලොකු දෙයක්ද.. පිස්සුනෙ ඔයාටත්.."

" නෑ සුදුමහත්තයො ගෙදර සීනි තේකොල ඉවරවෙලා තිබ්බෙ.. මම ඒකට කඩේ ගියේ-"

" ඔය ගෑනි අම්මපා මගෙන් මැරුම් කනවා.. දුව එක එක ගංජාකාරයො එක්ක බෝක්කු ගානෙ ලගින එක පේන්නෑ.. අපේ ගෙදර වෙන එක තමයි ඒ ගෑනිටත් පේන්නෙ.."

" අනේ මන්දන්නෑ පුතේ.. "

" අම්මා ඕවා හිතනෙපා.. මම සල්ලි හම්බ කරන කාලෙක අපි මෙහෙන් යන්නම යමු.. මටත් තිත්ත වෙලා ඉන්නෙ මේවා අහලා කරලා.."

මම කාපු පිගාන පැත්තකින් තියලා අම්මගෙ ඔලුව අතගාලා කියද්දි අම්මා කලාතුරෙකින් මගේ දිහා බලද්දි දිලිසෙනවා වගේ ඇස් දිලිසුනා.. ඒ වෙලාවටනම් ආදරේ හිතෙනවා.. අම්මා හරි ලස්සනයි..

" හෙට පන්තිද පුතේ.."

" නෑ අම්මා ඒවුනාට එන්න හවස් වෙයි.. ඉස්කෝලෙ තුනහමාර වෙනකන් අමතර පංතියක් දාලා.. මම කාමරේට යනවා අම්මා ලයිට් නිමලා නිදාගන්න.."

මම නිදාගන්න යන්න කලින් අම්මට වැදලා කාමරේට ඇවිත් මේසෙන් ඉදගත්තා..

මගේ කාමරේ ගත්තොත් ඒකෙ පැත්තක් ඇවිල්ලා පිරිලා තිබ්බෙ ඇනිමි කැරක්ටර්ස් වල පෝස්ටර් වලින්.. නරුටො, සස්කෙ, යෝසන්, රකුසාන්, සෙයිරි, ආශ් එකී මෙකී නොකී ඔක්කොම ඒකේ හිටියා.. ආ තව සෙනුකයා මට මරන තර්ජන කල්ලා ලාන් වංජියි, වෙයි වූෂියෑනුයි බදාගෙන ඉන්න එකකුත් ඒකෙ පැත්තකින් ඇලෙව්වා..ඌ ආස ඒවගෙ එව්වට.. අනික් පැත්ත සමීකරනයි නෝට්සුයි සක්‍රියතා ශ්‍රේනියයි ආවර්තිතා වගුවයි තව ඔය ඔක්සිකරන අනම් මනනුයි ඔව්වගෙන් තමා.. අම්මා කාමරේ පිලිවෙලට තියාගන්න නිසා හොදයි ඉතින්..

මම පාස්පේපර් පොත දිගෑරගෙන පුටුවෙන් වාඩිවෙද්දි හිත ඉබේටම ඇදිලා ගියේ ඉස්කෝලෙට.. ඔලුවෙ කැක්කුම අඩුවෙලා ගිහින් තිබ්බට මම සිද්දාලේප පොඩ්ඩකුත් ඇගිලිවලට අරගෙන ඔලුව දෙපැත්තෙ ගාලා කුප්පියට නහය ඔබාගෙන හිටියා.. ඒ සුවදට මම ආසයි.. මම එහෙමම මේසෙට ඔලුව තියාගෙන පොඩ්ඩක් ඇස් පියාගත්තා..

" අම්මෙ!!!!!!!!!!!!!"

මම දන්නෙ නෑ කොච්චරවෙලාවක් මට නින්ද ගියාද කියලා මම ගැස්සිලා මේසෙන් ඔලුව ගත්තේ දවල් කෝච්චියෙන් වැටෙන්න ගිය එක ආපහු මට හීනෙන් පෙනුන නිසා.. මගෙ පපුව ගැහෙනවා එකසිය ගානට.. මම එහෙමම වතුර ජොග්ගුව පිටින්ම කට තියාගෙන බීගෙන බීගෙන ගියා..

දැන් ඉස්කෝලෙ වැඩ කරන්න හිතෙන්නෙත් නෑ මම එහෙමම ඇදට පැන්නෙ නිදාගන්න.. අම්මටයි මටයි තිබ්බෙ හවුලෙ පාවිච්චිකරන ටච් ෆෝන් එකක්.. ෆෝන් එක අම්මා ලග නිසා එෆ්බී පැත්තෙවත් යන්න විදියක් නෑ.. මම එහෙමම ඇද ලග තිබ්බ ජනේලෙට පයින් පාරක් දීලා ජනේලෙ ඇරගෙන ඇදේ හාන්සිවෙලා අහස දිහා බලාගෙන හිටියා.. එලියෙ හුලග හරි සනීපයි.. මට රධ්‍ය අයියව මතක් වුනේ කෝච්චියෙ සිද්දිය හීනෙන් පෙනුනු නිසා.. ඒ එක්කම රධ්‍ය අයියා සම්බන්ද සිදුවීම් හැම එකක්ම ඉක් ඉක්මනින් මගෙ හිතට මතක් වේගෙන ආවා..

ඇයි එයා මාව දැක්ක ගමන් ගැස්සිලා අහක බලාගන්නෙ..

මට හෙන ප්‍රශ්නයක්.. අනික අද දවසේ රධ්‍ය අයියව කොච්චරවතාවක් නම් හම්බුනාද.. මට නිකන් පිස්සු වගේ.. එයා ස්ටේජ් එකේ පපුවත් ඉස්සරහට දාගෙන කතා කර කර උන්නු හැටි මට මැවිලා පෙනෙද්දි මට මහ කෝල හිනාවක් කට කොනකට ආවා..

" සැහ් මේ මොන මගුලක්ද.."

මම ඒ එක්කම කටට ගහගත්තෙ හිනා ගියපු එක ගැනම ලැජ්ජ හිතිලා.. මේකනම් පුතේ හොදකට නෙමෙයි.. මම දහ අට වන්නමම නටලා නින්ද යන පොසිශන් එකක් හොයාගෙන එහෙමම නින්දට වැටෙද්දි වෙලාව පාන්දර දෙකයි..