2.0

" එක්ස්කියුස් මී මැඩම්.. වරද් ෂනෙරු..????"

මම හිටියේ ලාස්ට් පීරියඩ් එකේ හෙනටම කලකිරිලා.. ලාවට නිදිමතකුත් සෙට් වේගෙනම ආපු නිසා අම්මා දවල්ට මොනවා හදලද කියලා හිත හිත බාගෙට ඇස් වහන් උන්නු මම උඩ ගිහින් ඇහැරුනේ පිසික්ස් මැඩම්ගෙ කටේ සද්දෙට.. ඒකනම් කටක් නෙමෙ ආයෙ ඉතින් වැඩක් නෑ කතාකල්ලා..

" ෂනෙරූ..... "

" යස් මැඩම්.."

" ඔයාට එන්න කියලා පණිවිඩයක්.. ගිහින් බලලා ඉක්මනට එන්න දරුවෝ.. මම තාපමිතිය කොටස ඉවරකරන්න ඉන්නේ.."

" හරි මැඩම්.."

මම එහෙම කියන ගමන් කෝකටත් නිල් පෑන සාක්කුවේ ඔබාගෙන පන්තියෙන් එලියට යද්දී පන්තියෙන් එහා බැම්මට හේත්තුවෙලා කලිසම් සාක්කුවල අත් ඔබාගෙන හිටියේ රධ්‍ය අයියා.. මම එලියට ඇවිත් මනුස්සකමට ඌ එක්ක හිනාවෙද්දී මේ යකා ගැස්සිලා වගේ මගේ දිහා බලලා මටත් රවලා පඩිපෙල දිහාට යන්න ගත්තෙ මාව බලු බෙට්ටක් ගානටවත් ගනන් නොගනිද්දි.. මමත් ඉතින් මටත් මොකෝ කියලා හිතාගෙන උගෙ පස්සෙන් ගියේ ප්‍රිෆෙක්ට් රූම් එකට..

" ෂනෙරු.. අපි නෙක්ස්ට් වීක් වෙද්දි ස්පෝර්ට්ස්මීට් එකේ ප්‍රැක්ටිසස් පටන්ගන්නවා.. ඔයාගෙ ක්ලබ් එකේ වැඩ කොහොමද..??"

අයුක අයියා මගෙ දිහාවත් නොබලා මොනවදෝ ලිය ලිය අහද්දි තමයි මට මතක් වුනෙත් ඉස්කෝලෙ බැඩ්මින්ටන් ක්ලබ් එකේ කැපා මම කියලා.. මේ වැඩ අස්සෙ පංතියි අරවයි මෙව්වයි ගෙදර ප්‍රශ්නයි එක්ක උසස් පෙලේදි මට ක්‍රීඩා බාහිර ක්‍රියාකාරකම් එහෙම්පිටින්ම මග ඇරුනා.. ක්ලබ් එකේ වැඩ බලන්නෙත් මම දන්න කියන මල්ලිල්ල දෙන්නෙක්.. ඒ නැතුව මම පැත්ත පලාතෙවත් ගියේ නෑ.

" කරගෙන යනවා අයියෙ.."

" හොදයි.. දැන් ජිම් එකේ මීටින් එකක් යනවා ස්පෝර්ට්ස් ක්ලබ් වල කැප්ටන්ස්ලගෙ.. ඔයා එහෙට යන්න.. ඒ ගමන් මේක සයෝන්ට දෙන්න පුලුවන්ද..?"

" හරි අයියෙ.."

මම අයුක අයියා දීපු ක්ලියර් බෑග් එක අරගෙන ජිම් එක පැත්තට දුවද්දි ජිම් එකේ කොනක හදලා තිබ්බ ස්ටේජ් එක උඩ රධ්‍ය අයියයි සයෝන් අයියයි මොනවදෝ කියවනවා.. වටේ ඉන්න උනුත් අහගෙන ඔලු වනනවා.. මම ඉතින් ඇගවෙන්නෙ නැතිවෙන්න හිමින්සැරේ කට්ටිය අස්සට රිංගගත්තා..

යකෝ මේ රධ්‍ය කාරයා කතාකරන්නෙත් හරි කෙලින් පහසුවෙන් හිටගෙන.. මටනම් ඔහොම ඉන්න බෑ පුතෙ මම විනාඩි පහෙන් පහට ඇගේ බර කකුල් වලට මාරු කර කර හෙන වන්නමක් නටනවා එක තැන ඉන්න බැරි ලෙඩේ නිසා.. ඒ අතින් බලද්දි මෙන්න කොම්ලො.

රධ්‍ය අයියා කතාකරද්දි කටහඩ හරි ගැබුරුයි ඒ වගේම බය හිතෙනවා.. ඔව්ව්වට තමයි ඉතින් කෙල්ලො ආස.. මම ඉතින් ඌ කියවන දිහා පුරුදු විදියටම උගුඩු පැටියා වගේ බලන් ඉද්දි එයාගෙ ඇස් මගෙ ඇස් එක වෙලාවක අහම්බෙන් හම්බුනා.. ඇත්තටම එයා මගේ ඇස් පහු කරගෙන යන්න ගිහිල්ලත් ආපස්සටම ඇවිත් නැවතුනා.. ඒ එක්කම රධ්‍ය අයියා කියන්න ගිය එක පැටලිලා බොරුවට කැස්සෙ මමත් ඉක්මනින් අහක බලාගන්න ගමන්.. ඒ වුනාට මේ මිනිහා හරි අමුතුයි.. මම බිම බලාගෙන මීටින් එක ඉවර වෙනකල් ඉදලා ආපහු පංතියට එන්න ආවෙ සයෝන් අයියට ක්ලියර් බෑග් එකත් දීලා..

දැන් ඉතින් අම්මගෙන් කතා කෝටියක් විතර අහගන්න වෙනවා මම ස්පෝර්ට් එකක් කරද්දි.. හවස් වෙලා ගෙදර එන්නෙ අරකයි මේකයි ඉස්කෝලෙ වැඩ කරන්නෙ නෑ.. එපාම වෙනවා.. අනික අම්මට මම කොච්චර කරත් මදි.. මම පන්තියේ දෙවෙනියා වුනොත් අහන්නෙ ඇයි පලවෙනියා නොවුනේ කියලා.. මම කරන කිසි දේක අම්මට ඇගයීමක් තිබුනෙ නෑ.. ඔය වගේ දේවලුයි මගෙ නිදහස් වෙන්න දගලන මනසයි කටයි නිසා ගෙදර අයයි මමයි පරස්පරවිරෝදී වෙලා පවුලෙ අය එච්චරට මාත් එක්ක එකතුවක් නෑ.. සිරාම කතාව මම ඉන්නෙ නිකන් පවුලෙ බල්ලා මාක් වැටිලා කොන් වෙලා..

අපේ තාත්තා මම පොඩි කාලෙදිම අම්මගෙන් අයින්වෙලා වෙන කසාදයක් බැදලාලු ඉන්නේ..අම්මා මාව පොඩි කාලෙ වඩාගෙන දික්කසාද නඩුවට ගියාට මට එහෙමට තාත්තව මතක නෑ.. මම එදා අර ස්ටේජ් එක උඩ ඉන්න නඩුකාරයා දිහා මොකාද එකා වගේ බලන් හිටියා මිසක් වෙන මොකුත්ම මගෙ මතකෙට එන්නෙ නෑ.. මොකද එතකොට මම හෙන පොඩියි..

ඔය තාත්තා ගියේ මම ඉපදුනාට පස්සෙයින් අරකයි මේකයි මගෙ අවාසනාව කිය කිය අම්මගෙ පැත්තෙ උදවිය මට එහෙමට කැමැත්තක් නෑ.. මට ඔව්වට පොඩි කාලෙ රිදුනා සෑහෙන්න කොන්වෙලා උන්නු නිසා.. ඒවුනාට දැන්නම් මට පරමාණුවක් තරම්වත් ගානක් නෑ මට මොකා කොච්චර කතා කීවත්..

මම මේ හෙන පොර වගේ කතාකලාට.. සිරාම කතාව මම එහෙම හෙන පොශ් එකෙක් නෙමේ.. මමත් මේ ඉස්කෝලෙට ආවෙ ස්කොලශිප් පාස් වෙලා.. ඊටකලින් මම හිටියේ ආච්චිගෙ ගෙදර.. ගමේ.. කතරගම පැත්තෙ.. පස්සෙ අම්මට ඕනවුනා මම මෙහෙ දාලා උගන්නන්න.. ඉතින් හයේදි මම මෙහෙට ආවේ පට්ට ගොඩයා වගෙ.. හය වසරෙදි මාව හෙනට කොන් වෙලා පේන්න ගද්දි මට මගෙ හිතේ තිබ්බ දුක හිතෙන හැගීමවත් කියන්න බලු බල්ලෙක් උන්නෙ නෑ.. හොදම යාලුවා වුනත් සෙනුකයාටවත් මේවා කියන්න පුලුවන් කමක් නෑ.. ඔහොම තමයි කොලඹ ජීවිතේ මගේ පටන් ගත්තෙ.

අම්මගෙ සහෝදරයොනම් හෙනට ඉගනගත්තු මිනිස්සු.. ඉතින් අපි නැවතිලා හිටියෙත් අම්මගෙ අක්කගෙ ගෙදරක.. ඒගොල්ලොන්ට මෙහෙ ඉඩම් එහෙම තියෙනවා.. පවුලෙ බාගයක්ම වැඩකරන්නෙ හොස්පිටල් එකේ.. සර්ජන්ලා කියයි මේට්‍රන්ලා කියයි.. ඉතින් ඕක නිසාම තමා මම දැන් බයෝ කරන්නෙ.. මම ආසාවෙන් හිටියෙ පොලිටිකල් සයන්සුයි ලොජිකුයි කරන්න.. ඒ වුනාට ඒ හීනේ තිත තියවුනේ හුග කාලෙකට කලින්.. ඉතින් මට සිද්ද වුනා මගේ හීන සින්න වෙන්න ඇරලා අම්මගෙ හීනෙට පන දෙන්න.. පන දෙන්න කිව්වාට මොකද මගෙ නම් පන දැනටමත් ගිහින් තියෙන්නෙ..

මුලදි කොලඹ මෙලෝ රෙද්දක මම යන්න දන්නෙ නෑ හෙන බයයි අම්මා එක්ක විතරයි එහෙ මෙහෙ යන්නෙත්.. පස්සෙ පස්සෙ ඉතින් ඉස්කෝලෙ ඌශ්නෙ මටත් ගහලා අට වසරෙදි විතර මගෙත් දිව ඇඹරිලා කඩ්ඩෙන් කතාකරන්න හුරු වුනා.. ඔහොම ඔහොම ඉතින් රූපෙයි හැසිරීමයි ඔක්කොම වෙනස් වෙලා දැන් නම් ඉන්නවා කුරුදුවත්තෙන් බැහැපු එකා වගේ.. ගෙදර වුන් සෑහීමකට පත් වෙන දේකට තිබ්බනම් තිබ්බෙ රූපෙ විතරයි.. ඒකත් අම්මගෙන් ආපු නිසා.

මම පවුලට බනිද්දි හිතන්නෙපා මම හෙන කුහකයෙක් කියලා.. ඒවුනාට දන්නැද්ද ඕනම පවුලක ඉන්නවා දෑහැට පේන්න බැරි එවුන් සෙට් එකක්.. ඉතින් මටත් එහෙමම තමයි.. ඔන්න අපේ ආච්චිඅම්මයි මාමයිනම් මගෙ ඉශ්ට දෙවිවරු වගේ.. ආච්චිඅම්මා එහෙම ජීවිතේ ගැන ලොකු අවබෝදයක් තියෙන මනුස්සයෙක්.. මගෙ හිත හදන්න පුලුවන් මනුස්සයෙක්ට මට ඉන්නෙ ආච්චිඅම්මා විතරයි.. එයත් හරි මගෙ පණත් හරි ඉතින්..

ඉස්කෝලෙ ඉවරවෙලා මම පොත් ටිකත් බෑග් එකේ ඔබාගෙන එලියට ආවේ නුගේගොඩට යන්න.. හවස රිවිශන් නිසා අපේ උන් සේරම ඉතින් නුගේගොඩට තමා.. සෙනුකයා චූ දාන්නෝන කියලා ඉස්කෝලෙ ඇතුලට ගිය නිසා ඉස්කෝලෙ ගේට් එක ඉස්සරහා ලෝගෝ එක ගහපු තැනට වෙලා මමයි හශේනුයි මතීශයි කියෝ කියෝ ඉද්දි මම දැක්කේ කියාන් අයියයි රධ්‍ය අයියයි මොනවදෝ කියව කියව මේ පැත්ත බල බල හිනාවෙනවා.. මම එච්චර ගානකට ගන්නැතුව අහක බලාගත්තෙ හිතට අමුත්තක් දැනෙද්දි.. රධ්‍ය අයියව මම දන්නෙ නෑ.. එහෙව් එකේ ඇයි හැමතිස්සෙම එයා මාව දැක්කහම අමුතුවට හැසිරෙන්නෙ..?? ඒක දන්නෙ ඉතින් ඌම තමයි..

ඒ එක්කම සනුකයා ආපු නිසා මම ඒ පැත්තවත් නොබලා ස්ටේශන් එකට එන්න ආවේ ට්‍රේන් එක අල්ලගන්න..

ට්‍රේන් එක ගැන කියනවනම් ඉතින් ආයෙ කතාකරන්න වැඩක් නෑ සෙනග ෆුට්බෝඩ් එකේ ඉදන්.. මාත් යාන්තම් ෆුට්බෝඩ් එකෙන් එල්ලුනේ ට්‍රේන් එක ස්ටේශන් එකෙන් යද්දිම වගේ.. තා ඩිංගෙන් මේක මිස් වෙනවනේ..

ට්‍රේන් එක ඇතුලේ ගර්ල් ස්කූල්ස් හතර පහකම කෙල්ලො කිචි බිචි ගගා කියවනවා.. අම්මපා මුන්ගෙ කටවල් නම් කටවල් නෙමෙ.. වක්කඩවල්.. පියුමි හංසමාලිලා පරාදයි..

" ආ නංගේ ක්ලාස් යන්න වගේ.."

" නෑ උබෙ අම්මට හුරුල්ලො ගන්න දෙල්කද පොලට යනවා.."

අපේ ඉස්කෝලෙ වෙනුරයා පාඩුවෙ උන්නු කෙල්ලෙක්ට කෝචොක් කරන්න ගිහින් ලෙසටම අහගත්තෙ ඔක්කොම කොල්ලො ඌට හිනාවෙද්දි.. මම කිව්වෙ මම කිව්වෙ.. මුංගෙ කටවල් බෙංගාල බොක්ක වගේ.. ඕකට හිනාවෙවී ඉදපු මම එකපාරට අල්ලන් ඉදිය බාර් එකෙන් අත ලිස්සලා ඇදගෙන වැටෙන්න ගියේ අත එකපාරට පණ නැති වෙලා ගිය නිසා..

මට ජීවිතේට මරණ බය කියන එක දැනිලා තිබ්බෙ නෑ.. ඒ වුනාට මේ වෙලේනම් ඒක ලෙසටම දැනෙද්දි මාව ෆුට්බෝඩ් එකෙන් ඇදගෙන වැටෙන්න යද්දි මම තද කල්ලා ඇස් දෙක පියාගනිද්දි මට මැවුනේ අම්මගෙ රූපෙ.. සිරාවටම මම දන්නෙ නෑ ඒක ඒ වෙලාවෙ මැවුනේ ඇයිද කියන්න.. අම්මා උදේ 'පරිස්සමින්' කියන වචන ටික ඇහෙනවා ඇහෙනවා වගේ කනට දැනෙද්දි මගෙ අතින් සම්පූර්නෙන්ම බාර් එක ඇතෑරුනේ මාව කෑගස්සවන ගමන්..

" අම්මාහ්හ්හ්!!!"

මම හිටියේ ඇස් දෙක තද කරලා උණ්ඩි කරලා පියාගෙන.. මගෙ පපුව ගැහෙනවා රේස් දුවන්න වගේ.. ඒත්.. ඒත් මගෙ මූනට දැනෙන හුලං පාරවල් එක්ක මට දැනුනේ මම වැටිලා නෑ කියලමයි.. ඒ එක්කම මගෙ මූණෙ ඇනුනේ සිල්වර් බැජ් එකක්.. ඒකෙ වැල් දෙකක් එල්ලෙනවා.. මේක අපෙ ඉස්කෝලෙ එකක්.. ඒවුනාට මෙහෙම ඒව තියෙන්නෙ ඉස්කෝලෙ හය දෙනාටයි.. මම එහෙමම හරි සිහියට ඇවිත් කෙලින් වෙන්න හැදුවත් ඒ කටහඩ.. ඒ කටහඩ මගේ කන ලගින් ඇහුනේ මගේ ඇගම සීතල වෙලා යද්දී..

" දගලන්නැතුව ඉන්නවා.. තමුසෙට මොලයක් කියලා නාමයක් නැද්ද ඕයි.."

රධ්‍ය.. ඒ රධ්‍ය අයියගේ කටහඩ.. මම ඔලුව උස්සලා බැලුවේ නැතත් මම ඒ කටහඩ අදුනගත්තා..

" ආව්.."

මම දගලලා හැරෙන්න හැදුවත් රධ්‍ය අයියා මාව කිටි කිටියේ බදාගත්තෙ මගේ ඉන වටේ යවලා තිබුනු අත් තව තද කරලා..

" දගලන්න එපා අයිසෙ.. උබට ඕන මාවත් වට්ටන්නද..??"

ආයෙම කන ගාවට නැමිලා රධ්‍ය අයියා කියද්දි මම ලොකුවට දගලන්නැතුව කෙලින් වුනේ චාටර් නිසා.. එහෙම ඉතින් නොදන්න එකෙක්ට තුරුල් වෙලා යන්න පුලුවන්ද.. ඊටපස්සෙ ඕක ෆොටෝ ගහලා ෆේස්බුක් දැම්මොත් එහෙම ' ආදරය යනු' අරකයි මේකයි කියලා.. ඊටපස්සෙ එහාවැටේ ගර්ල් ස්කූල් එකේ නැට්ටිච්චියො මූවයි මාවයි එකතුකල්ලා ශිප් එකක් හදලා මුහුදුගත කරයි..

" අයියෙ අත-"

මම කියන්න ගිය එක බල්ලෙක්ටවත් ගනන් නොගෙන රධ්‍ය අයියා කියාන් අයියා එක්ක කියවද්දි මම උගුඩු පැටියා වගේ ඌට තුරුල් වෙලා අහක බලාගෙනම නුගේගොඩට ආවා..